අධිෂ්ඨානය – හෙළ සුවය

 

හෙළ ගොවිතැන

අධිෂ්ඨානය

 

ශ්‍රි ලංකාව කෘෂිකාර්මික රටකි. පන්සල ආශ්‍රිතව ගොඩනැගුනු ආධ්‍යත්මික පරිසරය තුල පෝෂණය වෙමින්  සරල කෘෂිකාර්මික ජීවන රටාවකට උරුමකම් කියන අප සතු ප්‍රෞඩ  ඉතිහාසය දහසින් වැව් බැඳි රාජ්‍යයේ  ඇති අපේම වාරි කර්මාන්තය මොනවට සාක්ෂි දරයි.වැවයි දාගැබයි කෙතයි  පන්සලයි යන තේමා පාඨය ජීවිත වලට සම්බන්ධ කර ගනිමින් එකල ගොවි සමාජය පංචශීලයම රක්ෂා කර ගනිමින් උතුම් ගොවිතැනක නිරත වූහ.මේ හරහා ගොඩනැගුනු  සමගිය ,සහෝදරත්වය හා එකමුතුකම වැනි අමිල මානුෂික ගුණධර්ම ගොවි ජනයා තුල මුල් බැස ගත්තේ නිරායාසයෙනි.එහෙත් පර දේසක්කාරයන්ගේ මිථ්‍යාව විසින් වෙලා ගනිමින් අපේ ජීවිතවලට ආදේශ කරන ලද ආකාරය නිසා පිරිහෙමින් පවතින යුගයක අපේ ගොවිතැන යලි නඟා සිටුවා අහිමි වී ගිය ඒ ශ්‍රී විභූතිය යලි ස්ථාපිත කරවා පංචශීලය සුරකින ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිපුන් ගොවි සමාජයක් ඇති කිරීම මගින් හෙළ දිවයිනම සුවපත් කිරීම උත්තරීතර නිවන් දොරටුවට අභිමුඛ වීමක් නොවන්නේද?

ආසනික් පර්යේශණය හා රජරට වකුගඩු රෝගය හරහා හඳුන්වා දෙන ලද හෙළ ගොවිතැන වනාහි කෘමිනාශක,වල්නාශක හෝ රසායනික පොහොර කිසිවක් නොයොදා පංචශීලය ආරක්ෂා කරමින් කරනා උතුම් ගොවිතැනකි.කුඩා ලියදි දෙක තුනකින් ආරම්භ වූ මේ ගොවිතැන අද අක්කර 3000ක් පමණ වූ විශාල වපසරියක් පුරා සීඝ්‍රව ව්‍යාප්ත වූයේ එහි තිබූ ආධ්‍යාත්මික ශක්තිය නිසාමය.සියලු ගොවීන්ට පිවිතුරු සද්ධර්මය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙමින් ඔවුන්ව ප්‍රතිපත්ති මාර්ගයේ පිහිටුවා මේ ගොවිතැන් ක්‍රමයට සම්බන්ධ කරගන්නා ලදි.මෙය තවත් එක් ගොවිතැන් ක්‍රමයක් නොව සියළු දෙනා නිර්වාණ මාර්ගයට අවතීර්ණ කරවීමේ පරම චේතනාවෙන්ම කරනා සත්කටයුත්තකි.

මාගේ ගුරුවරයා වූ මතු බුදු වන මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ සහ උන් වහන්සේගේ අනුගාමික විපස්සක දෙවියන්ගේ උතුම් අනුශාසනය හා මඟ පෙන්වීම යටතේ ප්‍රියන්තා සේනානායක මහත්මිය හරහා මේ සියළු කටයුතු සිදුවන අතර හෙළ ගොවිතැන හරහා මුළු සමාජයම නිර්වාණ මාර්ගයට අවතීර්ණ කරවීම මා ඇතුලු අප කණ්ඩායමේ සියලු දෙනාගේ ඒකායන අධිෂ්ඨානයයි.ඒ උතුම් අධිෂ්ඨානය සමඟින් මේ සිරිලක යහපත් සමාජයක් ගොඩ නගා අප සියලු දෙනාටද මෛත්‍රී බුද්ධ ශාසනයේ උතුම් වූ නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි’ හෙළ ගොවිතැන මව් සංවිධානය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.

                                     මෙයට,
                                     ආචාර්ය එන්. පී. ඩබ්ලිව්. බි. වී. කිත්සිරි සේනානායක
                                     සභාපති – හෙළ ගොවිතැන මව් සංවිධානය

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top