ආධ්‍යාත්මය

අධිෂ්ඨානය

මෙය කියවන ඔබ සැමට නිර්වාණ මාර්ගයට යොමු වීමට ශක්තිය ලැබේවා…!!!කොළඹ ප්‍රදේශයේ පදිංචි මම නමින් චූල ලියනගේ. වෘත්තියෙන් ඖෂධ වේදියෙකු, ව්‍යාපාරිකයෙකු වශයෙන් පංචසීල ප්‍රථිපදාවට අනුව ජීවිතය ගත කිරීමට උත්සාහ කරන අයෙක්මි.
මුල් දෙගුරුන් ගේ ඇසුර මෙන්ම අකුරැස්ස කියාඬුව ආරණ්‍යයේ වැඩ වාසය කල හුංගම ගුණසේන ගුරු දේවයානන් වහන්සේගේ ඇසුර පිරිසිදු නිර්වාණ මාර්ගය හඳුනා ගැනීමට මනා පිටුවහලක් විය.මම, ආරණ්‍යයේ ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත, සමත විදර්ශනා මාර්ගයේ භාවනා කරගෙන ගියද අවුරුදු 80 ක් ආයු වලඳා උන්වහන්සේ අපවත් වීමෙන් භාවනා උපදෙස් ලබා ගැනීමට ගුරුවරයාණන් වහන්සේ නමක් අහිමි වී ඉතාම අසරණ තත්ත්වයකට පත් වූයෙමි.මා, ගරු ස්වාමින් වහන්සේ ජීවතුන් අතර සිටින කාලයේ දී මෙවැනි අවස්ථාවක කල යුතු දේ පැනයක් ලෙස ඉදිරිපත් කල විට, උපදේශය වූයේ “මා නැති උනාට ඕනෑ තරම් ගුරුවරු මනුස්ස ලෝකයේ හෝ පාරමී පුරන ඇත්තන් දිව්‍ය ලෝකයේ වැඩ වාසය කරන නිසා භාවනා කරල අධිෂ්ඨානයක් තියන්න. එතකොට සුදුසු ඇත්තෙකු හමුවෙයි” උන් වහන්සේ පැවසූ සේක.එම අවවාදයත් සමඟ මාගේ අධිෂ්ඨානය මෙසේ තැබුවෙමි.

“මා මේතාක් සසරේ පිරුවා වූ පාරමී ශක්තිය සත්‍ය නම්, බුදුරජාණන් වහන්සේ සත්‍ය නම් ධර්ම රත්නය සත්‍ය නම් සංඝ රත්නය සත්‍ය නම් මේ ලෝකයේ මීලඟ බුද්ධ සාසනයක් පිහිටුවන මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ නමක් වැඩ වාසය කිරීම සත්‍ය නම් එම ශක්තියේ ආනුභාවයෙන් මෙතැන් පටන් නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට උපදෙස් ලබා ගැනීමට ගුරුවරයාණන් වහන්සේ නමක් ලැබේවා…!!!”

ඊට දින කිහිපයකට පසුව, එම ආරණ්‍යයේ කටයුත්තක් සඳහා ප්‍රියන්තා සේනානායක මහත්මියගේ නිවසට යෑමට සිදු විය. ඇය කේ.සී. ලියනගේ මහත්මාගේ හා ගුණපාලි මහත්මියගේ බාල දියණියයි. මෙම දෙමවුපියන් දෙපල සහ මගේ මවුපියන් එකම ආරණ්‍යයේ ප්‍රධාන දායකයන් වීම නිසා අප පවුල් අතර පිංකම් වල දී සම්බන්ධකම් පැවතුණි.

එම අවස්ථාවකදී ප්‍රියන්තා සේනානායක මහත්මිය මා හට පැවසූයේ ඇගේ මවත් පියාත් ජීවතුන් අතර නැති වූවද ඒ අය නැවතත් දෙවිවරුන් ලෙස පැමිණ කතා බහ කරන බවත් ධර්මය ගැණ, පිරිත් සූත්‍ර ගැනත් ඕනෑම දෙයක් ඒ අයගෙන් දැනගත හැකි බව ය.

එදා පටන් නිතර නිතර ධර්මය ගැන කතා බහ කිරීමට මෙම නිවසට යෑමට මාහට අවස්ථාව ලැබුණි. ප්‍රියන්තා සේනානයක මහත්මියගේ පවුලේ කිහිපදෙනෙකු සමඟ සවසට භාවනා කිරීම අපි ආරම්භ කලෙමු.

භාවනාවෙදී නාමය සහ රූපය පිළිබඳව ආරණ්‍යයේදී මා ලද අවබෝධය දෙව්වරුන්ගේඋපදෙස් සමග භාවනා කරන විට ලැබුනේ ඉතා සරල පුළුල් අවබෝධයකි.

සිතින් අවබෝධ කරගන්නා දෙය පැහැදිලිව කථා කිරීමට , තව කෙනෙකුට කියා දීමට පවා හැකියාවක් ගොඩ නැගුණි. මෙය දිනෙන් දින පෝෂණය වන්නට ගත්තේ ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට භාවනා කල මා හට මාගේ පූර්ව භවය දැක “නාමය” හා “රූපය” අතර සම්බන්ධය කුමක්ද යන්නත්, අමනුෂ්‍යයින්, තිරිසන් සතුන්, දෙවිවරුන් හා මනුෂ්‍යයන් යනු කවුරුන්ද යන්නත්, නාමය කුසල් අකුසල් සමඟ අඛන්ඩව ගමන් කරන බවත්, රූප හට ගනිමින්, අතහරිමින් යන බවත් හඳුනා ගැනීමට හැකි වුනි.

මේ අයුරින් පැහැදිලිව විග්‍රහ කිරීමට හැකි වූයේ “මෛත්‍රී බෝධිසත්වයින් වහන්සේගේ පාරමී ශක්තිය මාගේ පාරමී ශක්තිය සමඟ සම්බන්ධ වේවා …!!!” යනුවෙන් අධිෂ්ඨානය තබා භාවනා කරන විට පමණි.

මෙහිදී මා හඳුනා ගත්තේ මේ ආකාරයට උපදෙස් දීමට සාමාන්‍ය ඇත්තෙකුට නොහැකි බවත් ඉතා අධික පාරමී ශක්තියක් ඇති උතුමන් වහන්සේ නමකට පමණක් හැකි බවත් ය.

පිරිසිදු ධර්මය දීමට නම් තමන් දරා ගත යුතුමය. එය භාවනා කරන ඕනෑම කෙනෙකුට අවබෝධය කර ගත හැකිය. සියුම් වූ සිතකට වැටහෙන්නෙකි.

මා හඳුනා ගත්තේ, මේ සම්බන්ධ වන දෙවියන් මෛත්‍රී බොධිසත්වයානන් වහන්සේ වන බවත් , උන්වහන්සේ අප කෙරෙහි ඇති අපරිමිත මෛත්‍රිය නිසා අපව දුකින් මුදවාලීම පිණිසම දිව්‍ය ලෝකයට වී පහසුවෙන් ගත කිරීමට තිබිය දී මනුෂ්‍ය ලෝකයට වැඩම කර අප ඇතුළු සියලු සත්ත්වයින් නිර්වාණ මාර්‍රගයට යොමු කරවීමට දරන උත්සාහයක් ලෙසත් ය. ප්‍රියන්තා සේනානායක මහත්මිය ඇතුළුව දිනෙන් දින භාවනා කරන පිරිස මෙය භාවනාවේදී හඳුනා ගනියි.

මෛත්‍රී බෝධිසත්වයින් වහන්සේ නිසා මාගේ ඌන පාරමී පුරා ගැනීම වශයෙන් ධර්ම දානය දීමටත්, විශාල පිරිසකට භාවනාව තුලින් චිත්ත සමාධිය දියුණු කර ගැනීමට උපකාර කිරීමටත් අවස්ථාවක් උදාවුණි.

මා ලබා ගත් මනුෂ්‍ය ජීවිතයේ ලැබිය හැකි උසස්ම සම්පත පිරිසිදු නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමයි. ඒ සඳහා මෙහිදී ප්‍රියන්තා සේනානායක මහත්මිය හා ඇගේ දෙමාපියන්ගේ උපකාරය ලැබුණි.

මා මේතාක් සසරේ භවයෙන් භවය යම් පාරමී ශක්තියක් පුරා ඇත් ද , එම ශක්තිය මා හට නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට උපකාර කල සෑම කෙනෙකුටම සම්බන්ධ වේවා…!!!
අධිෂ්ඨාන බෝධිවලින් නිර්වාණයට පත් වීමට උපකාරක සම්පතක්ම වේවා…!!!

මෛත්‍රී බෝධිසත්වයින් වහන්සේගේ අධිෂ්ඨානයට, එනම් අනන්ත සත්ත්ව සංඛ්‍යාවක් නිර්වාණ මාර්ගයට යොමු කිරීමට ශක්තිය ලැබේවා…!!!

ගෞතම බුද්ධ ශාසනය මෛත්‍රී බුද්ධ ශාසනය තෙක් ආරක්ෂා වේවා…!!!

ශ්‍රී ලංකද්වීපය ධර්ම දීපයක් බවට පත් කිරීමට ශක්තිය ලැබේවා…!!!

ඊළඟ පිටුව

ආධ්‍යාත්මික වැඩසටහන්

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top