පර්යේෂණ – හෙළ සුවය

පර්යේෂණ

 රජරටින් ආරම්භ වූ වකුගඩු රෝගය ( Chronic Kidney Disease Started from Raja Rata ) පිලිබඳ පර්යේෂණයේදී සහභාගී වූ වෛද්‍යවරුන් ලෙස “හෙළ සුවය” ට අඩිතාලම දැමූ අපගේ අධිෂ්ඨානය . . .

මම කුමුදු සංජීව දහනායක වන අතර  දැනට මොනරාගල මහා රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා ලෙස සේවය කරමි.  මාගේ සේවා කාලය අවුරුදු එකොළහකට ආසන්නය.මම වයස අවුරුදු දහසයේ සිටම සත්‍ය ධර්මය යනු කුමක්දැයි සේවූවෙක්මි.ධර්ම දේශනාවලට සහභාගී වෙමින් ද, ධර්ම පුස්තක කියවීමෙන් ද එය අවබෝධ කර ගැනීමට කාලයක් තිස්සේ මම වෙහෙසුනෙමි. නමුත්, ඒ හරහා දැනුම එකතු වීමක් හැරෙන්නට සිත තැන්පත් වීමක්, දියුණු වීමක්  හෝ ලෝභය , ද්වේශය , මෝහය අඩු වීමක් හෝ සිදු නොවූ බව නම් ඉඳුරාම කිව යුතුය.
මේ අතර 2009 වසරේදී දැනගත්  මාගේ බාල පුතාගේ රෝගී තත්වය අප පවුලේම සිත් බෙහෙවින්ම කලකිරවන්නක් විය. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් එම රෝගයත්, එයට හේතුවත්, ඊට  නිශ්චිත පිළිසරණත් නොමැති වීම තුල  එම රෝගී තත්වයට කුමන හෝ ක්‍රමයකින් සුවයක් ලබා ගත යුතු බව එවකට මා තුල තිබූ එකම අධිෂ්ඨානය විය. ඒ සඳහා  නොයෙකුත් සෙත්පැතීම්, බෝධි පූජා ආදිය  පැවැත්වීමට අමතරව ජ්‍යෝතිශය සම්බන්ධ  ස්ථාන වලට ද  සම්බන්ධ වෙමින් මා සිදු කළ දෑ බොහෝය.  ඒ එකකින් වත් කිසිදු පිළිසරණක් දරුවාට අත්වූයේ නැත. මටත් , වෛද්‍යවරියකු  වූ මාගේ බිරිඳටත්, මාපිය දෙපළටත්, සහෝදරියටත්,    බුදු දහම ගැන තිබූ අචල විශ්වාසය තුල  එය තරමක් දුරට ඉවසා දරා ගැනීමට නම් හැකි විය.මේ අතර, මා ලද භාග්‍යයකට, පෞරාණික හෙළ නිල වෙදකම ඔස්සේ ප්‍රතිකාර කරන ප්‍රියන්තා සේනානායක මහත්මිය  පිළබඳව මා මාගේ ඥාති සහෝදරියක් වූ චම්පිකා සමරසේකර මහත්මියගෙන් දැන ගත්තෙමු. මා   ප්‍රියන්තා මහත්මිය වෙත දරුවා ගෙන එන ලදුව, ඇය ඔහුගේ නාඩි පරීක්ෂාකොට, මාහට  පුළුල් වෛද්‍ය හා අධ්‍යාත්මික විග්‍රහයක් සිදුකළාය.  දරුවාගේ මොළය ඇතුළු ස්නායු පද්ධතියත් ඒ හා සම්බන්ධ හෝර්මෝන පද්ධතිය ගැනත් වෛද්‍ය විද්‍යාත්මක පතපොතේ දැනුමට එහා ගිය දැනුමක් වෛද්‍යවරියකු නොවන ඇය සතු වීම මා මවිතය පත් කළේය.  තවද, එම දැනුම ඇය ලබාගන්නා අධ්‍යාත්මික  ක්‍රම වේදය ඉතා දයුණු විය. කුඩා කළ සිට සිත් දියුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස  මතු බුදුවන නාථ දෙවියන් ඇතුළු සම්‍යදෘෂ්ඨික දෙවිවරුන්ගේ ප්‍රඥාව ඇයට සම්බන්ධ වීම තුල එම දැනුම ලැබෙන ආකාරය මම ඇයගෙන් දැනගතිමි.  ඒ අනුව,  එදා හෙළ බෞද්ධ සංස්කෘතිය තුල  අප රටේ සිටී අධ්‍යාත්මිකව දියුණු පාරමී පුරන මනුෂ්‍යයින්, නූතන බටහිර විද්‍යාවට ගෝචර නොවූ, දියුණු  කෘෂි, වාරි හා වෛද්‍ය ආදී දැනුම ලබා ගත්තේ  පාරමී පුරාගැනීම උදෙසාම කැප වුනු  සම්දුටු දෙවියන්ගෙන් ය යන කරුණ මා  අවබෝධ කර ගත්තෙමි. කිසිදු දේව රූපයකට වන්දනාමාන නොකරන, දේව ආරූඩයන්ගෙන් තොර, බුදුරජාණන්වහන්සේ දෙසූ පිරිසිදු ධර්මය පමණක්ම අදහන ප්‍රියන්තා මහත්මිය මා හට පැවසූයේ ඇය ද සෙවූ පිරිසිදු ධර්මය ඇයට ලැබුනේද එම දෙවියන්ගෙන්ම බවය.මා එතෙක් සොයමින් සිටී සිත දියුණු කිරීමේ පිරිසිදු බෞද්ධ අධ්‍යාත්මික ක්‍රම වේදය ද  මෙය විය යුතු යැයි මට අනුමානයෙන් වැටහිණ. ඒ අනුව මා ද එම දෙවිවරුන්ගේ කර්මස්ථාන අනුව නිර්වාණයට අධිෂ්ඨාන  ගෙන අනිත්‍යය හා මෛත්‍රිය වඩමින් භාවනා කළෙමි. එහි  ප්‍රතිඵලයක් ලෙස මා ලද අවබෝධය නම්  එදා මට හමු වුනේ මා සසරේ නිර්වාණය උදෙසා අදිෂ්ඨාන කළ ගුරුමහොත්තමයාණන් වහන්සේ  වන මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ බවය.  ධර්ම දානමය පාරමිතාව  උදෙසාම  භාවනාව තුලින් මා ලද අත්දැකීම් ඔබගේ පරිශීලනය සඳහා ලියා  තබන්නෙමි.· සත්වයා යනු නාම රූප කොටස් දෙකේ එකතුවෙන් සෑදෙන්නක්, බවත් නාමයේ වූ අකුසල්  (ලෝභ, ද්වේශ, මෝහ)  හෝ කුසල් (අලෝභ , අද්වේශ, අමෝහ )ශක්තිය රූපය සමග සම්බන්ධය තුල සත්වයා ලෙස ජීවත් වන බව· නාමයේ වූ අකුසල් ශක්තිය (නාම ව්‍යාධිය) නිසා රූපයේ හට ගන්නා ධාතු, එනම් පඨවි, ආපෝ, තේජෝ හා වායෝ සමතුලිතභාවයේ වෙනස (රූප ව්‍යාධිය) රෝගයක් ලෙස ක්‍රියාත්මක වන බව· දරුණු රෝග ප්‍රතිකාරය සඳහා රූපයේ ව්‍යාධියට ප්‍රතිකාර කිරීමට අමතරව
රෝගියාගේ  නාමයේ අකුසල් යටපත් කිරීමත් කුසල් ශක්තිය ඉස්මතු කිරීමත් කළ යුතුය. ඒ සඳහා රෝගියාත් වෙදකම් කරන වෛද්‍යවරයාත් භාවනා කළ යුතුය. ව්‍යාධියට හේතු වන අකුසලය හඳුනාගෙන එය නාමයෙන් ඉවත් කිරීම භාවනාවේ අරමුණයි.· එය මා ඉගෙන ගත් බටහිර වෛද්‍ය ක්‍රමයේ රූපයේ ඉස්මතු වූ රෝගී තත්වය කෙරෙහි පමණක් අවධානය යොමු කෙරෙන නමුත් හෙළ නිල වෙදකමෙදී මෙන්  නාමයේ රෝගයට ඇති සබැඳියාව ගැන අවධාරණය නොකෙරේ. මිත්‍යාදෘෂ්ඨික ආගමික සංකල්පය මත බිහි වූ බටහිර වෙදකම පංච ඉන්ද්‍රියෙන් ඔබ්බට ගමන් නොකරතත්, බෞද්ධ දර්ශනයට උරුම කම් කියන  හෙළ නිල වෙදකම පසිඳුරන්ගෙන් එහා ගිය අධ්‍යාත්මය මත ගොඩනැගුනු එකකි.

· ගුරුවරයාගේ උපදෙස් පරිදි  මා ද හෙළ වෙදකම ඉගෙනීමට  අධිෂ්ඨාන තබා එම දෙවිවරුන්ගේ ශක්තිය සම්බන්ධ  කර ගනිමින්  රෝගියාගේ නාඩි ස්පන්දනය හරහා රූපයේ ඇතිවී ඇති ව්‍යාධිය හැඳිනීමට ද, ඒ අනුව හෙළ වෙදකමද සිදු කිරීමට ද  උත්සාහ ගනිමින් සිටී.  වෙදකමේ එක් සුවිශේෂී  අත්දැකීමක් ඔබ හමුවේ තබමි.  මා බිරිඳ ගේ ගර්භනී භාවය හේතුවෙන්  ගර්භාෂයේ දරු කළල දැරීම් වලක්වන ව්‍යාධිජනක තත්වයක් (බටහිර වෛද්‍ය ප්‍රතිකාර නොමැති ) තිබියදීත් හෙළ වෙදකමින් ඒ තත්වය සමනය කර දරු ප්‍රසූතිය සිදුකර ගැනීමට හැකි විය.  එහිදී අධික රුධිර වහනය නිසා ගර්භාෂය හදිසියේ ඉවත් කිරීමට තීරණය කළත් , වාට්ටුව තුල සිදු කළ හෙළ නිල වෙදකමින් රුධිර වහනය නැවතුනු බැවින්  ශල්‍ය කර්මයේ අවශ්‍යතාව නොමැති වීම, ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥවරයාගේද  විමතියට භාජනය වූවකි.

මේ අතර වෛද්‍ය චන්න ජයසුමන මහතා ආසනික් සම්බන්ධ පර්යේෂණයට මුලපිරීමත් සමඟම මියගිය වකුගඩු රෝගීන්ගේ මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා මා හට ප්‍රියන්තා මැතිණිය වෙතින් ආරාධනයක් ලැබිණ. රුවන්වැලි මහා සෑය අභියස වකුගඩු රෝගය තුරන්කිරීමත්, වසවිස අප රටින් අතුගා දැමීමටත් ඒ හරහා ප්‍රාණඝාතයෙන් තොර ගොවිතැනක් බිහි කිරීමටත් අදිෂ්ඨාන ගනිමින් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ අධිෂ්ඨානය සමඟ එකතුව පර්යේෂණය ආරම්භ කෙරිණ.    නිදන්ගත ආසනික් විසවීම් ශ්‍රී ලංකාවේ ඉතාමත් විරල බැවින් ද, මීට පෙර පර්යේෂණ සිදු කළ  කණ්ඩායම් මිය ගිය වකුගඩු රෝගීන්ගේ ආසනික් තිබූ බවට කිසිදු  සාධකයක් ඉදිරිපත් කරනු ලැබුවේ නැති බැවින් ද ඒ සම්බන්ධව දෙවිවරුන්ගේ දැනුම අවශ්‍ය විය. මා පදවි ශ්‍රී පුර රෝහලේ මරණ පරීක්ෂණ සිදු කරන අවස්ථාවේ ප්‍රියන්තා  මහත්මිය දුරකථන අධාරයෙන්, මියගිය වකුගඩු රෝගීන්ගේ  ශරීරයේ ආසනික් තැන්පත් වූ ස්ථානයන් හා ඒවා හඳුනා ගන්නා අයුරුත් ඒ නිසා අවයව වල සිදුවන වෙනස්කම් පිලිබඳවත්   මා දැනුවත් කරන ලදී.උදාහරණයක් ලෙස, අක්මාවේ දකුණු කන්ඩිකාවේ යටි පැත්තේ  ආසනික් අළු පැහැයට තැන්පත් වූ අයුරු හා  තයිරොයිඩ්  ග්‍රන්ථියේ ඇති වෙනස්කම් දැක්විය හැකිය. එම දැනුම මා ඊට පෙර පොතපතෙහි දැක නැත. මේ ආකාරයට වකුගඩු වල තැන්පත් වූ ආසනික් ද දැක ගැනීමට මා හට හැකි වූයේ එම දෙවිවරුන් ගෙන් ලත් දැනුම නිසා බව කිව යුතුය.

බුදු වදන 
ආරෝග්‍යා පරමාලාභා
රූපයේ නීරෝගිතාවය මහත් ලාභයක් වන්නේ එය සිතේ සතුට එනම් උපේක්ෂාවට එනම් සිතේ තැන්පත් බවට හේතු වන බැවිනි.

සන්තුට්ඨි පරමං ධනං
සන්තුට්ඨිය පරම ධනයක් වන්නේ එය  නිර්වාණය මාර්ගයට පිවිසීමට  හේතුවන බැවිනි.

විශ්වාසා පරමා ඥාති
කල්‍යාණමිත්‍ර ගුරුවරයා පිළිබඳ විශ්වාසය යනු අපට ඇති පරම නෑදෑකමයි. එසේ වන්නේ උන්වහන්සේ (ඥාතියා) නිර්වාණය නමැති පරම සුවය අපට අවබෝධ කර දෙන බැවින්ය.

නිබ්බානං පරමං සුඛං
නිර්වාණය පරම සැපයක් වන්නේ එය ව්‍යාධියට හේතු වන උත්පත්තිය අවසන් කරන බැවිනි හෙළ ගොවිතැනින් හා හෙළ නිල වෙදකමින් රූපයේ නීරෝගී බවත් භාවනාවෙන්
නාමයේ නිරෝගී බවත් ලැබෙන බැවින්  හෙළ ගොවිතැනට ත්  හා හෙළ නිල වෙදකමටත් භාවනාවටත්  මිනිසුන් යොමු කිරීම  සඳහා මා දිවිහිමියෙන් කැපවෙමි.

එබැවින් මාගේ අධිෂ්ඨානය
ඉහත බුදු වදනට අනුව…
මාගේ ගුරුවරයාණන් වහන්සේ වූ මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේගේ පසුපස යමින් …
සිත් දියුණු කර ගැනීමත් …
ඒ හරහා මාගේ නාම රූප අවබෝධය තුලින් ..
සිතේ ඉපදෙන මෛත්‍රිය පෙරදැරි කරගනිමින් …
අන් සියළු සත්වයාගේ ද නාමයත් රූපයත් හඳුනා ගැනීමත් ..
ඒ හරහා මා ඇතුළු අන් සියළු සත්වයා නිර්වාණ මාර්ගයට යොමු වීමත් ය  !
මා පිරූවා වූ පාරමී දහරාවේ ආනුභාවයෙන් මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ  ඇතුළු සියලු කල්‍යාණමිත්‍ර  පිරිස විසින් නිර්වාණය පිණිස තැබූ අධිෂ්ඨාන සියල්ල සපථ වේවා !
මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ඇතුළු දෙවිවරුන් ද අප ද  මෙය කියවන පාඨකයාගේ  නිර්වාණය පිණිස තැබුවා වූ  අධිෂ්ඨාන ශක්තිය, ඔවුන් කියවන කියවන අකුරක් පාසා ඔවුන්ට සම්බන්ධ වේවා!

මීට ,
වෛද්‍ය කුමුදු දහනායක

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top