බටහිර වෛද්‍ය විද්‍යාවේ විකාශනය

 

බටහිර වෛද්‍ය විද්‍යාවේ විකාශනය, දෙවිවරු සහ අපි

අද අපේ රටේ සියලු දෙනාගේ සෞඛ්‍ය පිළිබඳ ව කටයුතු කරන ප්‍රධාන වෛද්‍යවරු දෙකොටසකි. ඒ බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරුන්ය. මින් ප්‍රධාන ම කාර්යය ඉටු කරන බව පෙනෙන්නේ බටහිර වෛද්‍යවරුන් විසිනි. බටහිර විද්‍යාවේ වේගවත් දියුණුවට සමගාමීව බටහිර වෛද්‍ය විද්‍යාව ද ශීඝ්‍රයෙන් දියුණු වන බව අප කාගේත් වැටහීම ය.

එනමුත් අප සියලු දෙනා ඉදිරියේ අද සුවිශාල ප්‍රශ්නයක් ඉතිරි වී තිබේ. ඒ නම්, මේ තරම් වෛද්‍ය විද්‍යාව දියුණු වෙද්දීත්, සියලු නවීන වෛද්‍ය පහසුකම් වැඩි වැඩියෙන් ජනතාවට ලැබෙද්දීත් ඉතිහාසයේ නොවූ විරූ ලෙස දිනෙන් දින මිනිසුන්  විශාල ලෙස රෝගී බවට පත් වන්නේ ඇයි ද යන්නයි. එදා වයසට ගිය විට රෝගී වන බව අසා තිබුනත්, අද පාසල් යන දරුවන්, තරුණ වයසේ අය මේ තරම් රෝග වලට මුහුණ දෙමින් මිය යෑම සාමාන්‍ය සිදුවීමක් ද? වෛද්‍ය විද්‍යාව ඇත්තෙන්ම දියුණු වී ඇති නම් එය එසේ සිදු විය හැකි ද?

වෛද්‍යවරු වන අප මේ ගැන ගැඹුරට සිතා බැලිය යුතු නොවේ ද?

වෛද්‍යවරු වන අපට වැරදී ඇත්තේ කොතැන ද?

වෛද්‍ය වෘත්තීය යනු මිනිසා දුකින් මිදවිය හැකි, නිරෝගී කළ හැකි උතුම් සේවයකි. වෛද්‍යවරයෙකුට මිනිසෙකු නිරෝගී කළ හැකි වන්නේ රෝග ඇතිවීම නැවැත්වීමට මෙන් ම ඇති වූ රෝග නිට්ටාවට සුව කිරීමට ද ඇති හැකියාව නිසා ය. අද ශීඝ්‍රයෙන් වැඩි වන බෝ නොවන රෝග ගැන සැලකූ විට, එම රෝග ඇතිවීම නැවැත්වීමේ හැකියාවක්  අපට තිබේ ද? නොඑසේ නම් රෝග සෑදුණු විට සුව කිරීමේ හැකියාවක් අපට තිබේ ද?

අවුරුදු දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන බටහිර වෛද්‍ය විද්‍යාව ඉතිහාසයේ සිට ම පැවත ආවේ මේ ලෙසට ද?

ආයුර්වේද වෙදකම දෙවිවරුන්ගෙන් මිනිසුන්ට ලැබුණු දැනුමක් බව ආයුර්වේද පොත පතේ සඳහන් වේ. නමුත් අප ඉගෙන ගන්නා බටහිර වෛද්‍ය විද්‍යාවේ පොත්පත්වල එවැනි දැනුම ලැබුණු මාර්ග ගැන සඳහන් නොවේ. නවීන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන ‘හිපොක්‍රටීස්’ නම් පුද්ගලයාට මෙවැනි දැනුම් සම්භාරයක් ලැබුණේ කෙසේ ද? ඔහු මෙවැනි විශාල දැනුම් පරාසයක් ඇති වෛද්‍ය විද්‍යාවක් තනිව ම ගොඩ නැගුවේ කෙසේ ද?

අද පවතින ප්‍රධාන ආගම් බිහි වීමට පෙර කාලයේ, ලොව බොහෝ රටවල මිනිසුන් ඒ ඒ භූමි ප්‍රදේශවලට අදාළ විවිධ වූ දෙවිවරුන් කෙරෙහි විශ්වාසය තබමින් පුද පූජා පැවැත්වූහ. මෙම ක්‍රමයෙන් මිනිසුන් විවිධාකාරයේ සුඛ සිද්ධීන් ලඟා කරගත් බව සඳහන් වෙයි. මෙම ක්‍රමවේදය පොදුවේ ‘කෙල්ට් ආගම’ (Celt religion) ලෙස හැඳින්වීය. ග්‍රීසියට අයත් වූ ‘කොස්’ නම් දූපතේ මෙම ආගමට අදාළ වූ ‘එස්ක්ලේපියන්’ නම් ප්‍රසිද්ධ පූජ්‍ය ස්ථානයක් (Asclepieion temple) විය. එම පූජ්‍යස්ථානය ප්‍රසිද්ධියට පත්ව තිබුණේ සුවිශේෂ වූ වෙදකමක් නිසාවෙනි. මෙම පූජ්‍යස්ථානයට පැමිණෙන රෝගීන් ප්‍රධාන පූජක තුමාගේ උපදෙස් අනුව යාඥා කර, ලබා දෙන විශේෂ ආහාර අනුභවයෙන් පසු නිදා ගනියි. නින්දේ දී දකින සිහින ආශ්‍රයෙන් ප්‍රධාන පූජක තුමා රෝගීන්ට ප්‍රතිකාර කරන අතර බොහෝ රෝගීන් ඉන් සුව වූ බව සඳහන් වෙයි. රෝගීන්ට

සිහින  දැකීමට සැලැස්වීම සහ ඊට සම්බන්ධ ඖෂධ පිළිබඳ දැනුම මෙම

භූමි ප්‍රදේශය හා සම්බන්ධ දෙවිවරුන් විසින් ලබා දෙන බව විශ්වාස කෙරිණි.  දෙවිවරුන්ගේ සම්බන්ධය ගොඩ නගා ගැනීමට යාඥාව, විශේෂ ආහාර සහ නින්දේ දී ඇතිවන විශේෂ මානසික තත්ත්වයන් උපයෝගී කරගත් බව පෙනේ. ක්‍රිස්තු පූර්ව 460 දී උපත ලද, එම ප්‍රධාන පූජක තුමාගේ පුතා විශේෂ හැකියාවක් සතු පුද්ගලයෙක් වූ අතර ඔහු, පියා මෙන් නොව රෝගියෙක් එක එල්ලේ ම පරික්ෂා කර ප්‍රතිකාර කිරීමෙන් රෝග සුව කිරීමේ විශේෂ දැනුමක් සහ හැකියාවක් තිබූ පුද්ගලයෙක් විය. ඒ කාලයේ නොතිබුණු, නව වෛද්‍ය විද්‍යාවක් ගොඩ නැගීමට තරම් වූ, සාමාන්‍ය මනුෂ්‍යයෙකුට නොපිහිටන මෙම විශේෂ වූ දැනුම සහ හැකියාව ඔහුට ලැබුණේ කෙල්ට් ආගමේ ‘එස්ක්ලේපියස්’ නම් දෙවි කෙනෙකුගෙන් බව සඳහන් වෙයි. ‘එස්ක්ලේපියස්’ ට මෙම දැනුම ‘ඇපලෝ’ නම් දෙවියන්ගෙන් ලැබුණු බව ද ඉතිහාසයේ සඳහන් ය.

එකල පැවතුණු වෛද්‍ය විද්‍යාල සහ රෝහල් වැනි වූ වෛද්‍ය සේවය ලබා දුන් ආයතනවලට පවා සුව කළ නොහැකි වූ රෝග, පූජක තුමාගේ පුතා සිදු කල මෙම විශේෂ වෙදකමින් සාර්ථකව සුව කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

මෙතරම් විශේෂ හැකියාවක් සතු වූ, ‘එස්ක්ලේපියස්’ගෙන් දැනුම ලැබූ ප්‍රධාන පූජක තුමාගේ පුත්‍රයා අන් කිසිවකු නොව ‘හිපොක්‍රටීස්’ ය.

මෙවැනි වූ සාර්ථක වෙදකමක දී හිපොක්‍රටීස් අනුගමනය කළ ප්‍රධාන මූලධර්ම කිහිපයක් ගැන ඉතිහාසයේ කියැවේ.

  1. ආහාරය ඖෂධය විය යුතු බව: නිවැරදි ආහාරයෙන් ශරීරය නිරෝගී වන බව සහ ආහාරයේ හා ආහාර ජීර්ණයේ සිදු වන වෙනස් වීම් නිසා රෝග හට ගන්නා බව විශ්වාසය විය. නිරෝගී ආහාරය සැකසිය යුත්තේ අලුත් සහ පැසවීමෙන් සැකසූ ශාකමය ආහාර, පලතුරු, පැල වීම ආරම්භ වූ විවිධ ඇට වර්ග, ධාන්‍ය සහ රනිල බෝග වලින් බව පෙන්වා දී ඇත. අවශ්‍ය වූ විට නැවුම් කිරි හෝ චීස් ගැනීමට අවසර දී තිබේ.
  2. රෝග සුව කළ යුත්තේ ශරීරයේ ස්වාභාවික ශක්තිය (ප්‍රතිශක්තිකරණය) ගොඩ නැංවීමෙන් බව සහ ඒ සඳහා ස්වාභාවික පරිසරයේ ශක්තිය යොදා ගත යුතු බව: මේ සඳහා හිපොක්‍රටීස් ප්‍රධානව ම ආහාරය උපයෝගී කරගත් අතර අමතරව පිරිසිදු වාතය ලබා ගැනීම සහ ස්නානය සඳහා රෝගීන් කැලෑ තුලට රැගෙන යාම, ස්වාභාවික දිය පහරවල නෑවීම වැනි ක්‍රම ද භාවිතා කොට ඇත.
  3. රෝගියා තනි ඒකකයක් ලෙස සලකා ප්‍රතිකාර කළ යුතු බව: විවිධ ඉන්ද්‍රියයන්ගේ රෝග පැවතුනත්, එක් එක් ඉන්ද්‍රියට ප්‍රතිකාර නොකර, සියලු ඉන්ද්‍රියයන් එක් වී සැදුණු ශරීරය තනි ජීවියෙක් ලෙස සලකා ප්‍රතිකාර කළ යුතු බව පැහැදිලිව දක්වා තිබේ.

හිපොක්‍රටීස් රෝගී ප්‍රතිකාරය සිදු කලේ මුදල් හෝ පුද්ගලික ලාභ අරමුණු කරගෙන නොවන බව ඉතිහාසයේ සඳහන් ය.

මේ ලෙස, නවීන වෛද්‍ය විද්‍යාව ආරම්භයේ දී ඉතා සාර්ථක වූ උතුම් මානුෂීය සේවයක් වශයෙන් පැවතුණු බව ඉතිහාසය අධ්‍යයනයේ දී අපට වටහා ගත හැකි ය.

ඉන් ඔබ්බට මෙම වෛද්‍ය විද්‍යාව අද පවතින තත්ත්වය තෙක් ක්‍රමයෙන් විකසනය වූ ආකාරය බලමු.

හිපොක්‍රටීස් තම දැනුම තවත් පුද්ගලයින්ට බෙදා දුන් ආකාරයත්, ඒ හරහා මෙම වෛද්‍ය සේවය පුළුල්ව සමාජයේ පැතිරුණු ආකාරයත් පෙනෙන්නට තිබේ. වෛද්‍ය දැනුම ලබා දීමේ දී කෙල්ට් ආගම අදහන ආධ්‍යාත්මික පදනමක් සහිත සුදුසු පුද්ගලයින් තෝරා ගත් බව හිපොක්‍රටීස් ඔවුන්ගෙන් ලබාගත් ප්‍රතිඥාව අධ්‍යයනය කල විට පවා අවබෝධ කර ගත හැකිය. ඔවුන්, ශිෂ්‍යභාවය ලබා ගැනීමට පෙර හදවතින් ම හිපොක්‍රටීස්ගේ ප්‍රතිඥාව (Hippocratic Oath) ලබා දුන්නේ “ඇපලෝ” සහ “එස්ක්ලේපියස්” ඇතුළු වෙදකම ලබා දෙන ගුරු දෙවිවරුන්ගේ ඉදිරිපිට දී වෛද්‍ය ශාස්ත්‍රය ලබා ගැනීම සඳහා සුදුසු ගෝලයින් බවට පත් වීමට ය.

එදා ලබා දුන් ප්‍රතිඥාව ආරම්භ වන්නේ මෙසේ ය…

“I swear by Apollo the physician, and Asclepius, and Hygeia and Panacea, invoking all the gods and goddesses to be my witness, that I will fulfil this oath….”

ක්‍රිස්තු පූර්ව කාලයේ දී ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා (Alexander the Great) ග්‍රීක අධිරාජ්‍ය නැගෙනහිරින් ඉන්දියාව දක්වා පැතිරවීමත් සමග නවීන වෛද්‍ය විද්‍යාව එම ප්‍රදේශවල මිනිසුන්ගේ ජීවිතවලට ද බලපෑමක් ඇතිකළ බව සිතිය හැකිය.

මේ කාලයේ දී ඉන්දියාවේ හින්දු ආගමේ දෙවිවරුන්ගෙන් ලැබුණු ආයුර්වේදය පැවතී ඇත.

ග්‍රීක අධිරාජ්‍ය බිඳ වැටී පසුකාලීනව රෝම අධිරාජ්‍ය ලෝකයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරිණි. බල ලෝභය මුල් කර ගෙන තම රාජධානිය විශාල කිරීමට භෞතික සාධක එක් රැස් කළ, නිවැරදි ආගමික පදනමක් මත පිහිටා ක්‍රියා නොකළ රෝම අධිරාජ්‍යයේ ආරම්භක පාලකයෙකි ජුලියස් සීසර්. පසු කාලීනව, එනම් ක්‍රි.ව. 3වන සියවසේ, මෙම ක්‍රියාදාමය තවදුරටත් ගෙන ගිය, රෝම අධිරාජ්‍ය මෙහෙයවූ ‘කොන්ස්ටන්ටයින්’ නම් පාලකයා රෝම අධිරාජ්‍යයේ පළමු ක්‍රිස්තියානි ආගම වැළඳ ගත් රජු විය. ඔහු ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමට හේතු වූයේ ඔහුට යුද්ධයක් දිනා ගැනීමට ජේසුස් ක්‍රිස්තුස් දෙවියන් උපකාර කළ බවට ඇති වූ විශ්වාසයයි. ආගම බිහි වූ මුල් අවධියේ සිට ම විවිධ කෙනෙහිලිකම් වලට ලක් වුනු ක්‍රිස්තියානි ආගම ක්‍රි.ව. 3 වන සියවසේ සිට ‘කොන්ස්ටන්ටයින්’ විසින් රෝම අධිරාජ්‍ය පුරා ප්‍රධාන ආගම ලෙස කටයුතු කිරීමට සැලැස්වීය. ක්‍රිස්තියානිකරණය, එනම් බලය යොදවා වෙනත් ආගම් අදහන පුද්ගලයින් ක්‍රිස්තියානි ආගමට බඳවා ගැනීම ආරම්භ වී ඉතා ප්‍රභලව ක්‍රියාත්මක විය. මේ සමග රාජධානිය පුරා සිටි කෙල්ට් ආගමේ පූජකවරු මරා දමනු ලැබීය. එපමණක් නොව කෙල්ට් ආගම හා සම්බන්ධ වෛද්‍යවරුන් විශාල ලෙස මරණයට පත් කෙරිණි;  විශේෂයෙන් රෝග සුව කිරීමට අසාමාන්‍ය හැකියාවක් තිබූ වෛද්‍ය කාන්තාවන් ‘මායාකාරියන්’ ලෙස හඳුන්වමින් පණ පිටින් පුළුස්සා දැමූ බව ලිඛිත ඉතිහාසයේ සඳහන් වේ. මෙම ක්‍රියාදාමය සිදු කිරීම සඳහා කොන්ස්ටන්ටයින් විසින් ක්‍රිස්තියානි පල්ලි රෝම අධිරාජ්‍ය පුරා බිහි කර වූ බව සඳහන් වන අතර මිනිසුන් සතුව පැවතුණු සියලු වෛද්‍ය තාක්ෂණය හා සම්බන්ධ සියලු භෞතික සම්පත් මෙම පල්ලි යටතට ගැනුණි. එතෙක් කල් ලියැවුණු වෛද්‍ය පොත්පත් සියල්ල පල්ලිය භාරයට පත් විය. වෛද්‍ය විද්‍යාව ඇතුළු සියලු තාක්ෂණ කාර්යයන් ඉන් පසුව සිදු කරන්නේ ක්‍රිස්තියානි පල්ලි යටතේ ක්‍රියා කරන ‘උගත් චින්තකයින්’ යැයි සැලකෙන පුද්ගලයින් විසිනි. මෙම පුද්ගලයින්ව සමාජයේ උසස් තනතුරු වලට පත් කර සමාජ ක්‍රමය වෙනස් ම මගකට යොමු කෙරිණි.

මෙතෙක් කල් හිපොක්‍රටීස් බිහි කළ නවීන වෛද්‍ය ශාස්ත්‍රය දිගින් දිගටම සාර්ථකව පැවතුණේ කෙල්ට් ආගමේ පූජකවරුන් හරහා ලැබුණු, ‘ඇපලෝ’ සහ ‘එස්ක්ලේපියස්’ ඇතුළු දෙවිවරුන්ගේ ශක්තිය හා දැනුම මූලික කර ගෙන බව පැහැදිලි ය. ක්‍රි.ව. 3වන සියවසේ සිට සිදු වූ ක්‍රිස්තියානිකරණයේ පටන්, වෛද්‍යවරුන්ගේ සහ එම වෛද්‍ය දැනුම ලබා දුන් දෙවිවරුන්ගේ සම්බන්ධතාවය සම්පුර්ණයෙන් බිඳ දමා ඇති බව මනාව පැහැදිලි වෙයි.

ඉන් පසුව, ස්වාභාවික මහා ජන සංහාරයකට හේතු වූ මහාමාරිය ඇතුළු බෝ වන රෝග වසංගත ලෝකය පුරාම පැතිරී ගිය කාල වකවානුවක් උදා විය. රෝම අධිරාජ්‍යයට මින් සිදු වූ හානිය ඉතා විශාල විය. අවබෝධ කර ගත් වෛද්‍ය ශාස්ත්‍රයක් නොමැතිව එම ව්‍යවසනයෙන් ගැලවීමට නොහැකි වූ නිසා එම අධිරාජ්‍යවාදී රටවල් වෛද්‍ය විද්‍යාව සොයා දේශ ගවේෂණ ආරම්භ කළා පමණක් නොව විශේෂ වූ වෛද්‍ය ශාස්ත්‍ර පැවතුණු රටවල් යටත් විජිත බවට පත් කර ගත්හ.

ආධ්‍යාත්මික ශක්තිය මත ගොඩනැගුණු වෛද්‍ය ශාස්ත්‍රයක් පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති කෲර ප්‍රතිපත්ති සහිත වූ මොවුන් එම යටත් විජිත රටවල සිටි වෙදකම දරා සිටි මිනිසුන් මරා වෙදකම්වලට අදාළ ලිපි ලේඛන පැහැර ගත්හ. ඒවායේ සඳහන් වූ දේ උපකාරයෙන් ‘උගත් චින්තකයින්’ විසින් තර්කානුකූලව විවිධ භෞතික පර්යේෂණ සිදු කරමින් අවබෝධ කර ගත්, අදටත් නිතර නිතර වෙනස්වීම්වලට භාජනය වන අසම්පූර්ණ දැනුමක්, තමන්ගේ තාක්ෂණයක් ලෙසින් ලොවට හඳුන්වා දෙමින් , වෛද්‍ය විද්‍යාව පමණක් නොව අනෙකුත් විද්‍යාවන් ද ‘නව’ මගකට යොමු කර ඇති ආකාරය ඉතිහාසය පුරා ලියැවී තිබේ. අවසානයේ දී, ‘විද්‍යානුකූල’ පර්යේෂණ සිදු කිරීමේ බලය ද, වර්තමාන ‘බටහිර විද්‍යාවේ’ පාලන බලය ද, යටත් විජිතවල පාලන බලය හිමි කර ගෙන සිටි බටහිර ජාතීන් සතු වූයේ ඒ ලෙසිනි.

ඉතිහාසයේ මෙන් ම, මෙම රටවල් තමන්ගේ වාණිජ අරමුණු ඉටු කර ගැනීමට අනෙක් රටවල් විනාශ කරමින් ඕනෑම පාපකාරී ක්‍රියාවක යෙදීමට සූදානම් බව ඔවුන්ගේ වර්තමාන ක්‍රියාකාරිත්වය අධ්‍යයනය ඕනෑම කෙනෙකු ට වැටහෙනු ඇත. ඇමරිකා එක්සත් ජනපදය සහ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් විසින් මෙහෙයවන ලෝක සෞඛ්‍ය සංවිධානය අද අපට සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්නේ මෙවැනි පසුබිමක සිට ය. ස්වාභාවික ආහාරය සහ ප්‍රතිශක්තිය වැඩවීම වෙනුවට ඒවා පරිහානියට පත් කරමින්, බටහිර රටවල ඖෂධ ව්‍යාපාර කෙරෙහි පමණක් විශ්වාසය තබමින් ‘මිනිසා නිරෝගී කිරීමේ’ ‘මානුෂීය’ මෙහෙයුම සිදු කල යුතු ආකාරය බටහිර වෛද්‍යවරු වන අප හට මැනවින් උගන්වා තිබේ. කුමන මුහුණුවරකින් පෙනී සිටිය ද, බල-ලෝභය වැඩවීම පමණක් පදනම කර ගත්, ආධ්‍යාත්මික පදනමකින් තොර වූ ප්‍රජාවකින් ලැබෙන වෛද්‍ය විද්‍යාවක්, කොතෙක් දුරට මානුෂීය සේවාවක් ඉටු කරයි ද යන්න සියුම්ව අවබෝධ කර ගත යුතු කාරණයකි.

හිපොක්‍රටීස් බිහි කළ ‘නවීන වෛද්‍ය විද්‍යාව’, ‘බටහිර වෛද්‍ය විද්‍යාව’ බවට පත් වූයේ එසේ ය.

ඉතිහාසයේ වෛද්‍ය විද්‍යාව ලබා දුන් ගුරුවරුන්ගේ සම්බන්ධය බිඳුණු බවට පැහැදිලි ම සාක්ෂිය අද බටහිර වෛද්‍යවරුන් ලබා දෙන නව හිපොක්‍රටික් ප්‍රතිඥාව (Modern Hippocratic Oath) තුල ම දැකිය හැකිය. නව ප්‍රතිඥාවේ අන්තර්ගතයෙන්, ඉතිහාසයේ සිටි සියලු ගුරුවරුන්ගේ නම් ඉවත් කර තිබේ. එදා ධර්මය තුල පිහිටා ගුරුවරයා ඉදිරියේ දුන් දිවුරුම, කුසලය හෝ අකුසලය පිළිබඳ කිසිදු අදහසක් නොමැතිව, හිස් අවකාශයට පවසන වාක්‍ය කිහිපයක් බවට පත්වීම ම කෙතරම් පරිහානියක් ද?

ගුරුවරයා අමතක වූ අපගේ ‘නව වෛද්‍ය ප්‍රතිඥාව’ ආරම්භ වන්නේ මෙසේ ය..

“I swear to fulfil, to the best of my ability and judgment, this covenant…..”

එම අදහස නැවතත් මුල් ප්‍රතිඥාව සමග සසඳා බැලීම වටී.

ගුරුවරයාගෙන් ගිලිහුණු ‘මූසිලයන්’ ට මග වරදින බව අපි අසා ඇත්තෙමු.

අදටත් බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටීස් රෝග සුව කළ ප්‍රධාන මූලධර්ම සියල්ල ම අපට අමතක කරවීමට කටයුතු කෙරී ඇති බව වටහා ගත හැකි ද? වෙදකමක මූලධර්ම සියල්ල අමතක කළ බටහිර වෛද්‍යවරු වන අපට අනාගතයේ දී අඩු ම වශයෙන් තමන්ගේ දරුවාවත් නිරෝගී කර ගත හැකි වෙයි ද?

‘වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ’ පෙන්වමින් ගොඩ නගා ඇති වර්තමාන බටහිර වෛද්‍යවරයාගේ වෛද්‍ය විද්‍යා දැනුම  උපයෝගී කර ගෙන රෝග සුව කල නොහැකි නම් එම පර්යේෂණ ක්‍රමවේදය නිවැරදි බව තව දුරටත් විශ්වාසයක් තබා ගත යුතු ද? දෝෂ සහිත එම දැනුම නොමැතිව නිවැරදි මාවතක් ඔස්සේ කල්පනා ශක්තිය ගොඩ නැගීමට අපට නොහැකි ද?

ජාතියක් නිරෝගී කිරීමේ වගකීම හිස මත දරා ගත් වෛද්‍යවරු වන අප, මොහොතක් නැවතී සත්‍ය සොයා බැලිය යුතු කාලය පැමිණි ඇත!

අනාගත ජාතිය බිහි කරන දූ දරුවන්ගේ දෙමාපියන් වන අප, එම අනාගත ජාතියේ නිරෝගීතාවය වෙනුවෙන් ප්‍රඥා පූර්වකව කටයුතු කල යුතු කාලය පැමිණ ඇත!!

රටේ සියලු ම මවුපිය දූ දරුවන්ටත්, සියලු ම වෛද්‍යවරුන්ටත් නිවැරදි මග හෙළි කර ගැනීම සඳහා ‘ප්‍රඥාව ඉස්මතු වේවා’ යි අධිෂ්ඨාන තබමු!!!

 

  • වෛද්‍ය මාලින් බටගොඩ (එම්.බී.බී.එස්., ඩී.එෆ්.එම්.)

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top