අධිෂ්ඨානය

 

ගැමුණු කුමරුගේ පහසින් සුවය          ලැබූ
දේශය හඬයි දරුවන් නැති ලෙසින්     වැඩූ
සමිඳුනි භාර කරනෙමි ලක සතින්     හැඬූ
සුවකර දෙන්න සැමදෙන අද දුකින්    හැඬූ

අධිෂ්ඨානය

මේ ශ්‍රී ලංකා භූමිය ගෞතම මුනීන්ද්‍රයින් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ උත්තරීතර දේශයයි.  අවුරුදු 2500 කට වැඩි ඉතිහාසයකට උරුම කියන මෙම පුණ්‍ය භුමිය ඔබගේත් මාගේත්  මාතෘ භූමියයි. ගැමුණු කුමරා දිවි හිමියෙන් හද පුද කර රැකගත් සම්බුද්ධ ශාසනයට පුජා කළ අමරණීය වූ මාගේ මෙම දේශය, පිරිසිදු බුදු දහම රැකුණු එක ම දේශය යි.
වරින් වර දෙව්බඹුන් සහිත මනුෂ්‍ය වර්ගයාගේ මැදිහත් වීමෙන්, විනාශ මුඛයට සම්බුද්ධ ශාසනය යාම වලකා, රක්ෂා කළ මෙම දේශයෙහි නැවතත් සම්බුද්ධ ශාසනය විනාශ වන තර්ජනයකට මුහුන දෙමින් පවතී.
කුඩා කල පටන් ආධ්‍යාත්මයෙහි රසය හඳුනා ගැනීමට හුරු පුරුදු වී සිටි මාගෙන්, නාථ දෙවියන් ඇතුළු දෙවිවරුන් පිරිසක් වැඩම කොට දැඩි ලෙස ඉල්ලූ ඉල්ලීමක් ඉෂ්ට කිරීම උදෙසා මම මෙම වැඩපිළිවෙළට ආරම්භයක් තැබුවෙමි.
නාථ දෙවියන් ප්‍රමුඛ දෙවිවරුන්ගේ අවධාරණාත්මක ඉල්ලීම වූයේ, විනාශ මුඛයට යමින් පවතින ශ්‍රී ලාංකීය සමාජය හා සම්බුද්ධ ශාසනය රැකීම උදෙසා ඉදිරිපත් වන ලෙසය. මෙහි දී අකුසල් සහිත සමාජයකට සම්‍යදෘෂ්ටික දෙවිවරුන්ට සම්බන්ධ විය නොහැකි බවත් ඒ සඳහා කුසල් සහිත සමාජයක් බිහිකළ යුතු බවත් එය කිරීම උදෙසා මනුෂ්‍ය ලෝකයෙන් පිරිසිදු සීලයක් සහිත මනුෂ්‍යන්ගේ සම්බන්ධය අවශ්‍ය බවත් එ වැනි සමාජයක් බිහි කිරීම උදෙසා පුරෝගාමීත්වය ගන්නා ලෙසත් උන් වහන්සේ මාගෙන් ඉල්ලා සිටි සේක.
              දැනට වසර අටකට ඉහත දී ඉල්ලූ මෙම ඉල්ලීම ඉටු කිරීමට මා හට හැකි වෙතැයි දැඩි විශ්වාසයක් නොපැවතුන ද, උන්වහන්සේලාගේ ඉල්ලීම ඉටුකිරීමට හැකි උපරිමයෙන් කැප වී “හැකිතාක් දුරට මෙම ඉල්ලීම ඉටුකරමි” යි යන අධිෂ්ඨානය පෙරදැරි කරගෙන එම දෙවිවරුන්ගේ උපදෙස් පිට මෙම වැඩපිළිවෙළ ඇරඹු වෙමි. අද මා නොසිතු  ආකාරයට මෙම වැඩ පිළිවෙළෙහි තීරණාත්මක අදියර කිහිපයක් ඉදිරියට අපි පැමිණ සිටිමු. ඉතා ස්ථාවර අත්තිවාරමක සිටින අපි නාථ දෙවියන්ගේ අවවාදය පෙරදැරි කර ගෙන වසර කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ ආධ්‍යාත්මයෙන් පිරිපුන් පිරිසක් ගොඩනගා ශ්‍රී ලංකාද්වීපයට ඇප කැප වී වැඩ කරන දරුවන් පිරිසක් ලෙස පෙළගැසී සිටිමු. බුද්ධ ශාසනය රැක ගැනීම හා මාතෘ භුමියේ උන්නතිය උදෙසා වැඩ කිරීම පිණිස අප ධනය,  කාලය හා ශ්‍රමය වැය කර ගොඩ නැගූ අපගේ පුජනීය වැඩපිළිවෙළ “හෙළසුවය” නමින් බුදුහිමියන්ගේ දෙපා මුල පුජාකරමින් ඔබ සැමට ඉදිරිපත් කරමු. ඔබ සැමගේ පුජනීය දායකත්වය ද අප සමග එකතු කරතැයි අපේක්ෂා කරමු. 

           උන්වහන්සේලාගේ ඉල්ලීම පිට “හෙළ නිල වෙදකම” නමින් රෝගීන්ට ප්‍රතිකාර ක්‍රමයක් ඇරඹීමි. මෙම වෙදකමින් ප්‍රථිකාර කරමින් සිටින කාලයේ දී, එ නම් දැනට වසර තුනකට පෙර දී වෛද්‍ය චන්න ජයසුමනගේ , “වකුගඩු රෝගීන්ට ප්‍රතිකාරයක් සොයා දෙන්නැයි”, ඉල්ලා සිටීමත් සමඟ “ආසනික්” පිළිබඳ අභිරහස ද එළිකර අද ලෝකයාව මෙන් ම අප රට ද විනාශ කිරීමට පොළඹවා ඇති “කෘෂි රසායනවල” ස්වභාවය එළි කිරීමට සියලු පර්යේෂණ ද මෙම දෙවිවරුන්ගේ උපදෙස් මත සිදු කෙරිණි.  මෙම හෙළි කිරීමත් සමඟ ම අද අප ලාංකීය ජනතාව “රෝගීන්” බවට පත් ව ඇති ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.
අද වන විට 10,000කට අධික සංඛ්‍යාවකට හෙළ නිල වෙදකමින් ප්‍රතිකාර ලබා දී ඇති අතර මෙම වෙදකම මාගෙන් ඉගෙන ගත් අය දැනට රෝගීන්ට මගේ නිවසේ දී ප්‍රතිකාර කරමින් සිටිති. ඉන්පසු “වකුගඩු රෝගීන්” සඳහා ද ප්‍රතිකාර අරඹා පදවියෙහි සිටින වකුගඩු රෝගීන් සඳහා පර්යේෂණාත්මක ව ප්‍රතිකාර කරමින් සිටිමු.
තවද “හෙළ ගොවිතැන” නමින් ගොවිතැනක් මෙම දෙවිවරුන්ගෙන් ඉගෙන ගෙන කන්න හයක් මේ වන විට රට පුරා අත්හදා බලා, මෙම කන්නයෙහි අක්කර 3000ක් පමණ මෙම ගොවිතැන් ක්‍රමයට අස්වද්දා ඇත. කෘෂි රසායන කිසිවක් භාවිතා නොකරන මෙම ගොවිතැන ද දෙවිවරුන්ගේ ඉල්ලීම මත ම අත්හදා බලා රටට දායාද කළෙමි. වස විස භාවිතා කර ප්‍රාණඝාතයෙහි යෙදෙමින් නිෂ්පාදනය කරන ආහාරයකින් යැපෙන රටක “බුද්ධ ශාසනය” ආරක්ෂා නොවන බව පැවසූ “නාථ දෙවියෝ” මෙම ගොවිතැන ප්‍රචලිත කරන ලෙසත් නැතහොත් මෙම වස විස නිසා ශ්‍රී ලාංකීය ජාතිය ඉතා ඉක්මනින් විනාශ වී යන බවටත් පවසා සිටියහ.
ඒ අනුව අපි ගොවියට මෙම වසවිසෙහි ආදීනව කියා දී, පංචශීලයෙහි යොදවමින් “භාවනා වැඩසටහන්” කරමින්, මෙම ගොවිතැනෙහි යෙදීමට උගන්වමින් සිටිමු. තව ද “හෙළසුවය” යටතේ රටේ විවිධ ප්‍රදේශවල භාවනා වැඩසටහන් දැනටමත් කරගෙන යමින් ආධ්‍යාත්මික පදනමක් සීල, සමාධි, ප්‍රඥා තුළින් අවබෝධාත්මක ගුණාත්මයක් ගොඩනගමින් සිටිමු.

                  ප්‍රාණඝාතය තුළින් වස විස යොදා කරන ගොවිතැනින් ගොවිජනයා මුදවාගෙන ඒ වෙනුවට මෛත්‍රිය ප්‍රමුඛ කරගත් අධ්‍යාත්මික ගුණවගාව ඉස්මතු කරගෙන ඖෂධීය වට්ටෝරුගොවිතැනට යොදවා කරන ගොවිතැන තුළින් ධාර්මික ගොවියෙකු ගොඩනගා ධාර්මික ආහාර රටාවක් රට තුළ ගොඩනැගීමත් ධර්මය හා මෛත්‍රිය ප්‍රමුඛ කරගත් වස විස නැති ආහාර රටට දී කායික මෙන් ම මානසික ව නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙම වැඩපිළිවෙළ තුළින් අපි උත්සාහ දරමු.
            මෙහි දී මාගේ එක ම අධිෂ්ඨානය වනුයේ නාථ දෙවියන් ඇතුළු ඉහත සඳහන් දෙවිවරුන්ගේ ඉල්ලීම ඉටු කිරීමයි. එනම් අනතුරට පත් වී ඇති මෙම රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත් බේරා ගැනීම උදෙසා ආධ්‍යාත්මික ගුණධර්මයන්ගෙන් පරිපුර්ණ වූ දෙමව්පියන් හා දරුවන්ගෙන් සමන්විත වූ පුජනීය මනුෂ්‍ය ප්‍රජාවක් බිහිකර බුදු හිමියන්ගේ දෙපා මුල පුජා කිරීම  පමණක් ම ය.

                     මෙත් සිත මුල් වූ ජාතියක් බිහිවේ වා !   

                                                                                                මෙයට,
ප්‍රියන්තා සේනානායක

2013.08.20

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top