බොදු සිතක අරුම

ධර්ම ශක්තිය තුලින් රට දැය ආරක්ෂා කරමු.

          බිහිසුණු අත්දැකීම් සහිත යුද්ධයක් නිමා කල අපි දස වසරක් යුද්ධය නිමා කොට ගත වී ඇත. නැවතත් කුරිරු ත්‍රස්තවාදයෙන් බියපත් වීමට පටන් ගෙන ඇත. මේ දේශය බෞද්ධයන් වන අපි හඳුනාගෙන ඇත්තේ බුද්ධ දේශය ලෙසට යි. ගෞතම මුනීන්ද්‍රයින් වහන්සේගේ පාදස්පර්ශය ලැබූ මේ බෞද්ධ දේශයේ උපත ලැබීමට තරම් පිං කල ද අපේ මනස ගැන අපි විශ්ලේෂණය කර බලා ඇතිද?
ගෞතම මුනීන්ද්‍රයින් වහන්සේ යනු කවරෙක් දැයි ඔබ දන්නවා ද? උන් වහන්සේ ලොවට දේශනා කලේ කුමක්ද? වාණිජකරණයට යටත්ව වේගයෙන් ලෞකික අරමුණු කරා හඹා යන මිනිසුන් වන අපි එයින් මිදුණු සිතක් දිනකට එක විනාඩියක්වත් පවත්වා ගැනීමට සිතුවාද?       බෞද්ධ අපි බෞද්ධ ද? මදක් සිතන්න. ගෞතම බුදුරජාණන් වහන්සේ භව සසරක් ගැන අපට කතා කල සේක. භව සසරෙහි අරමුණක් ඇතුව, එනම් නිර්වාණ මාර්ගයේ ගමන් කරමින් නිර්වාන බෝධියකට අධිෂ්ටාන තබමින් භව සසර පුරා ගමන් කොට ඒ සඳහා අත හැරීම, එනම් කෙලෙසුන් අඩු කරන මාර්ගය ගැන දේශනා කල බව ඔබ මොහොතකටවත් සිතුවා ද? බහ තෝරන වයසේ සිට “බුද්ධං සරණං ගච්චාමි” යනුවෙන් අද මේ මොහොත වන විට ලක්ෂ වාරයකටත් වඩා ඔබ කියා ඇති නේද?ආදරණීය බෞද්ධයිනි, මේ හෙළ දේශයයි. බුදු රජාණන් වහන්සේ අපට ඉගැන්වූයේ දාන, සීල, භාවනා යන තුන් වැදෑරුම් වචන පෙළක දිවි පෙවත ගත කරන ආකාරයයි. දානය යනු සිතින් අත හැර කරන ක්‍රියාවලියක ප්‍රතිපලයකි. එනම්, බෞද්ධ දර්ශනය තුල උගන්වා ඇත්තේ සිතින් අත හැරීමත්, ඉන්ද්‍රිය පහ සංවරය තුලින් සීලය ගොඩ නැගීමත්, භාවනා කරමින් සිත තුල ඇතිවන කෙලෙස් පිලිබඳ විශ්ලේෂණයක යෙදෙමින් තම සිතෙහි උපදින කෙලෙස් ධර්මතා අඩු කර ගැනීමත් යන මූලික සංකල්පවාදය තුල ජීවත් වීමටයි.
බෞද්ධයිනි, ඔබ මදක් සිතා බලන්න. උදේ පාන්දර ඇස් දෙක ඇරි මොහොතේ සිට නැවත නින්දට යන තුරුම අප පුරුදු කරන්නේ ලෝභය හා ද්වේශය මූලික කරගත් කෙලෙස්, නාමය තුල ගොඩ ගැහීමට නොවේද? එසේ නම් එම කෙලෙස් හරහා මුළු රට තුලම පැතිරෙන්නේ මෛත්‍රී සිතක් නොවේ. බුදුරදුන් අංගුලිමාල, ආලවක ආදීන් ජය ගත්තේ භව සසරෙහිම පුරුදු කල මෛත්‍රිය, පාරමිතාවක් ලෙස වැඩීමෙනි.
බිය යනු කුමක්ද? අද පාසලට යන දරුවා ගෙදර එන තුරු ද, රැකියාවට යන සැමියා හෝ බිරිඳ ගෙදර එන තුරුද සැම දෙන බියෙන් ත්‍රස්තව සිටින කාලයක් නැවත ඇරඹ ඇත. බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කලේ “ධම්මෝ හ වේ රක්ඛති ධම්මචාරී”, එනම් නාමය(සිත) ලෝභ, ද්වේශ මූලික කරගත් අකුසල් කර්මවලින් මුදවා ගෙන සසර පුරා ඔබ කළා වූ කුසල් කර්ම ඉස්මතු කරගෙන කුසල චිත්ත පරම්පරාවක් ගොඩ නැගීම තුලින් තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම පිළිබඳවයි. එහිදී ඔබට ම පාසලේ සිටින ඔබේ දරුවා හෝ ස්වාමියා හෝ බිරිඳ ගේ ආරක්ෂාව මෛත්‍රිය තුලින් තහවුරු වනු ඇත. මෙය කරන ආකාරය නොදන්නා බව විශාල පිරිසකගේ වචන තුලින්, අදහස් තුලින්, ඉල්ලීම් තුලින් හෙළ සුවයේ අපි අවබෝධ කරගත්තෙමු. මේ රටෙහි වන ගත වී සිටින අරණ්‍යවල වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා තුලින් ජාතියේ මුර දේවතාවරු අපි හඳුනා ගනිමු. හෙළ සුවය අරණ්‍ය ගණනාවකට ගොස් උන් වහන්සේලාත් සමඟ සාකච්චා කොට ඔබ සැම වෙත වැඩපිළිවෙලක් සෑදුවේ බොදු සිතක ශක්තිය ඔබටම තමන් විසින්ම වටහා ගැනීමට උදව් කිරීමේ අරමුණිනි. ඒ සඳහා වැඩපිළිවෙලක් පහත ආකාරයට අපි දියත් කළෙමු.සීල, සමාධි, ප්‍රඥා වඩන, වනගත වී සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළුව සමහරක් පන්සල් ආශ්‍රිතව වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලාගේ ද අනුග්‍රහය සහිතව නොමිලේ බුදු පිළිම බෙදා දී පිරිත් පැන් කලයක් සාදා අවබෝධයෙන් යුතුව බුදුන් වඳින ආකාරය කියා දෙමින් ආරම්භ කල මෙම වැඩපිළිවෙලේ දී පියවර කිහිපයකින් බෞද්ධ ඔබ සැමට ආමන්ත්‍රණය කර මේ තාක් ගොඩ නැගූ වැඩපිළිවෙල ඔබ හමුවේ තබමු.

01. හෙළ සුවයේ භාවනා කරන අපි දෙවිවරුන්ගේ උපදෙස් අනුව දෙසැම්බර් 16 වන දින අරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා එකසිය දාසය නමක් වඩම්මවා, දාහකට අධික ගිහි පිරිසක් එකතු වී මේ රට වෙනුවෙන් පිරිත් සජ්ජායන කර අපි පිරූ සීලය සමඟ උන් වහන්සේලාගේ සීල, සමාධි, ප්‍රඥා පාරමී දහරාව එකතු කර රට වෙනුවෙන් සම්බුද්ධ සාසනයත්, රටත්, ජාතියත් ආරක්ෂා වීම සඳහා අධිෂ්ඨානයක් උන්වහන්සේලා සමඟ තැබුවෙමු. “මෙහිදී බෞද්ධයා නාලිකාවේ විහාරාධීපති අතිපූජ්‍ය බොරලන්දේ වජිරඥාන හිමියන්ගෙන් ලැබුණු අනුග්‍රහය කෘතගුණ පූර්වකව අපි සිහිපත් කරමු.” අනාගත උවදුරක් මේ රටේ ඇතිවන බව පවසා නාථ දෙවියන් ඇතුළු දිව්‍ය සමූහයා අරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලාගෙන් මෙම ඉල්ලීම එනම්, මෙම රටෙහි නැවත යුද්ධයක් නො ඒම සඳහා සියක් නමක් අරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලාගේ අධිෂ්ඨානය මෙම බුද්ධ භූමියට එකතු කරන ලෙස කල ඉල්ලීම ඉෂ්ඨ කිරීම අපි කළෙමු. සිංහල බෞද්ධයා මේ තාක් රක්ෂා වුයේ එම අධිෂ්ඨානයේ බල මහිමයෙන් යැයි හෙළ සුවයේ අපගේ තදබල විශ්වාසයයි.

02. ගෞතම මුනීන්ද්‍රයින් වහන්සේ ධර්මය දේශනා කර ඇත්තේ දෙවියන් සහිත ලෝකයාටය. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා දිව්‍ය, නාග, බ්‍රහ්ම ආදීනුත්, මනුෂ්‍යයිනුත් ප්‍රධාන වශයෙන් දායක වී ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. එනම් වැව් ඉස්මත්තේ අප මුතුන් මිත්තෝ සාදා ඇති නාග පෙන, පුරාණ විහාරස්‌ථානවල සාදා ඇති මුරගල්වල තියෙන්නා වූ නාග රූප හා වෙනත් බහිරව රූප වැනි දෑ, එමෙන්ම දිව්‍ය රූප වැනි දෑ දිහා බලන කල ඉතිහාසයේ මුතුන් මිත්තෝ මෙම ලෝකවල ඇත්තන් සමඟ ගණුදෙනු කර ඇති බවට අවබෝධ වනු ඇත. නියමාකාරයෙන් ධර්මයේ හැසිරෙන්නවුන් හට ධර්මයේ ශක්තිය උපකාර වන්නේ කෙසේ දැයි හඳුනා ගැනීමට නම් තමන්ගේ සිතෙහි කෙලෙස් අඩු කරමින් යන මාර්ග ප්‍රතිපදාවට අනුගත විය යුතුමය. ලෝභ, ද්වේශ, මෝහයෙන් සිත මිදෙන මොහොත කුසල් ශක්තියයි. කුසල් ශක්තිය වඩවන විට දෙවියන් ඇතුළු කුසල් සිත් වඩවන ඇත්තෝ මනුෂ්‍ය වර්ගයා සමඟ එකතු වී සම්බුද්ධ ශාසනය රක්ෂා කිරීමට හැකිවනු ඇත. එහෙත් අකුසල් සිත් වඩවන විට සෑම තැනටම එකතු වන්නේ අකුසලය මූලික කරගත් අමනුෂ්‍ය බලකායයි. එම අමනුෂ්‍යයින්ට ද පිං දී මිදවීම අපගේ යුතුකම හා වගකීමයි. යුද්ධයක් පැවතුනු මේ රටෙහි වෛර සිත් ඇතුව මැරුණු විශාල පිරිසක් ඇති බව අපි දනිමු. එසේ නම් ඒ අය වෙනුවෙන් අපි කුසල් සිත් වඩවමින් පුණ්‍යානුමෝදනා කරවීම අපගේ ප්‍රධාන වගකීමක් බව සිතෙහි දරාගත යුතුව ඇත. එසේ නම් අපි කුසල් සිත් වැඩවීමට පුරුදු වෙමු.

03. ඒ සඳහා අපගේ බවුන් වඩන ස්වාමීන් වහන්සේලා සමඟ සම්බන්ධ වී වැඩපිළිවෙලක් ගොඩනගමින් උන්වහන්සේලාගේ පාරමී දහරාවේ ශක්තිය රටට සම්බන්ධ කරන ලෙස නාථ දෙවියන් ඇතුළු දෙවියන්ගේ ඉල්ලීම පරිදී අරණ්‍යවලට ගොස් නැවතත් උන් වහන්සේලා සමඟ සාකච්චා කොට මෙම වැඩපිළිවෙල ගොඩනැගුවෙමු. ගොවීන් සමඟ ප්‍රාණඝාතයෙන් තොර සහල් නිපදවා එයින් කැඳ හදා දී ලෙඩ සුව වන බවට ජනයාට ප්‍රත්‍යක්ෂ කලේ ද මේ ආකාරයෙනි. දැන් එහි දෙවන අදියර ලෙස හෙළ සුවයේ සියලු දෙන මුදල් යොදවා බුදු පිළිම මිලදී ගෙන එම බුදු පිළිම අරණ්‍යවලට වඩම්මවා, උන් වහන්සේලා එම බුදු පිළිම ළඟ තබාගෙන අධිෂ්ඨාන තබමින්, පිරිත් කියමින් තම පාරමී දහරාව මෙම රටට සම්බන්ධ කල පසු එම ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය ඇතුව බෞද්ධ පිරිස වෙත එම බුදු පිළිම බෙදා දුනිමු. මේ වන විට එක පවුලකට බුදු පිළිම එක බැගින්ද ස්වාමීන් වහන්සේලා විසින් පිරිත් කරන ලද පිරිත් නූල් පහ බැගින්ද බෙදා හැර නමස්කාර පාඨයේ සිටම අවබෝධයෙන් යුතුව එහි අර්ථය සරල ආකාරයෙන් පහදා දී වඳින ආකාරය අපි කියා දුනිමු. සෑම බෞද්ධ නිවසකම පිරිත් පැන් කලයක් සාදා සත්‍යක්‍රියා කරන ආකාරයද අවබෝධය තුලින් පහදා දී, එයින් ලද අත්දැකීම් සම්භාරයෙන් කොටසක් පටිගත කර මෙහිදී අප ඉදිරිපත් කර ඇත. ඔබට එය ශ්‍රවණය කල හැක. මෙම බුදු පිළිමය ළඟ තබාගෙන තමන් ප්‍රතිපදාවේ යෙදෙමින් සාදාගත් පිරිත් පැන් කලයෙහි පිරිත් පැන් දිනපතා උදයෙහි පාසල් යන දරුවන්ට හෝ බිරිඳට හෝ ස්වාමියාට බොන්නට දී එයින් ආරක්ෂාව සාදා ගන්නා ආකාරය අපි කියා දුනිමු. මේ මොහොත වන විට බුදු පිළිම 6000 ක් පවුල් 6000 කට බෙදා දී පිරිත් පැන් කල සාදා එම ප්‍රතිපදාවේ යෙදෙන විට එම පවුල් 6000 ම ලද අත්දැකීම් කොටස් වශයෙන් අපි සාකච්චා කරමින් සිටිමු.

04. තව දුරටත් අපි මෙම බුදු පිළිම බෙදා දෙමින් සිංහල බෞද්ධ ජනතාවගේ ආරක්ෂාව හදා ගන්නා ආකාරය ධර්මය තුලින් පහදා දෙමින් නිහඬ ප්‍රතිපදාවක යෙදෙමින් දෙවියන් සහිත ලෝකයාගේ ආරක්ෂාව සාසනයට හා රටට ලබා ගන්නා ප්‍රතිපදා මාර්ගයක ගමන් කරමින් සිටිමු. මෙම වෙබ් අඩවිය තුල හෝ මෙය සඳහන් කිරීමට අපට උවමනාවක් නොතිබුනේ අපි ගමින් ගමට ගොස් අරණ්‍යයෙන් අරණ්‍යයට ගොස් නිහඬව මිනිසුන් යොමු කිරීම අපගේ අරමුණු වූ බැවිනි. එහෙත් facebook එක තුල නොමනා ආකාරයට අපගේ ආධ්‍යාත්මික ප්‍රතිපදාවට පහර එල්ල කිරීමට පටන් ගෙන ඇති බැවින් මෙසේ සනිටුහන් කරන්නට අපි සිතුවෙමු. මෙම පහර එල්ල කරන්නේ හෙළ සුවයේ අප අතරම සිට අයින් වී ගොස් තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම උදෙසා කටයුතු කරන අය බව අපි දනිමු. අවැසි නම්, නම් වශයෙන් සඳහන් කිරීමටද කැමැත්තෙමි. නිහඬ ප්‍රතිපදාවක යෙදෙමින් රට වෙනුවෙන් වැඩ කරන අපගේ එකම අරමුණ නිර්වාණ මාර්ගය බවත් රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් ආරක්ෂා කිරීම පමණක් බවත් සඳහන් කරනු කැමැත්තෙමු. හුදු ප්‍රසිද්ධියක් අපට අවැසි නැත. මේ වැඩ පිළිවෙලට කැමති අය හෙළ සුවය සමඟ එක් වීමට හැකි බව තුටු සිතින් දන්වා සිටිමු. හය දහසක් පවුල් මේ වැඩපිළිවෙලට අනුගත වී ඇති මේ මොහොතේ එම පවුල් 6000 ම කෙලෙස් අඩු කරමින් යන සිතේ, එනම් නාමයෙහි පවතින කුසල් ශක්තිය මේ රටට එකතු කිරීම අපගේ අරමුණයි. තව දුරටත් අපි මෙම වැඩපිළිවෙල නොනවත්වා රට වෙනුවෙන් ඉදිරියට ගෙනයමින් සිටිමු.

ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි.

හෙළ සුවයේ නිර්මාතෘ
ප්‍රියන්තා සේනානායක සහ හෙළ සුවයේ පිරිස


01) 2018 දෙසැම්බර් මස 16 වන දින නාථ දෙවියන් ඇතුළු දෙවිවරුන්ගේ උපදෙස් පරිදී රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා වීම සඳහාත් අනාගතයෙහි යුද්ධයක් මේ රටට නොපැමිණීම සඳහාත් අධිෂ්ඨාන තැබීමට අරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා එකසිය දහසය නමක් හෙළ සුවයට වැඩම කල අවස්ථාව.

එහිදී ස්වාමින් වහන්සේලා විසින් පිරිත් සජ්ජායනා කර උන්වහන්සේලාගේ පාරමී දහරාවේ ශක්තිය මේ රටට සම්බන්ධ කරමින්

රටට ගැලපෙන නායකයෙක් බිහි වීම සඳහාත්, මේ රට හා සාසනය ආරක්ෂා වීම සඳහාත් එකට එකවර අධිෂ්ටානයක් තැබූ සේක.

(බොහොමයක් අරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා ඡායාරූප ගැනීම අකමැති නිසා මෙම පිංකම බෞද්ධයා නාලිකාව තුලින් සජීවීව හඬ පටය පමණක් විකාශණය විය)
02) අරණ්‍යවාසී ස්වාමින් වහන්සේලා එකසිය දහසය නමක් එකතු වී පිරිත් කල පිරිත් පැන් අධිෂ්ඨාන තබා හෙළ සුවයේ පිරිස ගොස් රට පුරා ඉසින ලදී.
03) දෙවන අදියර ලෙස හෙළ සුවය විසින් බුදු පිළිම වහන්සේලා එක් රැස් කර “හෙළ සුවය” ආරණ්‍යයේ මෙහෙණින් වහන්සේලා වැඩම කර පිරිත් සජ්ඡායනා කිරීම සඳහා පිළිම වහන්සේලා තැන්පත් කර ඇති අයුරු.
04) හෙළ සුවයේ ගිහි පිරිස විසින් පිරිත් පැන් කල සකස් කර රටත්, ජාතියත්, සම්බුද්ධ සාසනයත් ආරක්ෂා කර ගැනීම උදෙසා පිරිත් සජ්ඡායනා කරන ආකාරය.
05) හෙළ සුවයේ මෙහෙණින් වහන්සේලා විසින් පිරිත් සජ්ජායනා කල පසු බුදුපිළිම වහන්සේලා අරණ්‍යවලට වැඩම කරවා නැවතත් අරණ්‍යවාසී ස්වාමින්වහන්සේලා ද අධිෂ්ඨාන තබමින් පිරිත් සජ්ජායනා එම බුදු පිළිම වහන්සේලා නිවෙස්වලට වැඩම කරවීමට පිරිත් නූල් සමඟ බෙදා දුන් අවස්ථාවක්
06) අරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා සමඟ බුදුපිළිම බෙදා දෙන අවස්ථාවක්

මෙම බුදු පිළිම වහන්සේලා නිවෙස්වලට වැඩම කරවා හෙළ සුවයේත් ගරුතර ස්වාමින් වහන්සේලාගේත් උපදෙස් පරිදී සති දෙකක් බුදුන් වැඳ පිරිත් කියා සති දෙකකින් පසුව තම අත්දැකීම් විග්‍රහ කල කිහිප දෙනෙකුගේ විග්‍රහයන් ඔබට ශ්‍රවණය කල හැක. ධර්මයේ ශක්තිය තුලින් ඔබේ දරුවන්ද පවුලේ අනෙක් අයද රැකගන්න. එයයි අපේ නිර්මල පැතුම.

බුදුපිළිම බෙදාදීමේ වැඩසටහනක් (මව්බිම-ප්‍රාදේශීය 2019.07.24)

(දෙමෝදර – චන්දික සෝමරත්න)

බෞද්ධ අපි සෑම නිවෙසකම එකම වැඩපිළිවෙලකට අනුගත වෙමු යන සංකල්පය ඔස්සේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනයා එකතු කරගෙන සීල ප්‍රතිපදාවේ යොදවමින් රටේ ආරක්ෂාව ධර්මයේ ශක්තියෙන් ගොඩනැංවීමේ අරමුණින් හෙළ සුවය පදනමේ මූලිකත්වයෙන් කරන බුද්ධ ප්‍රතිමා වහන්සේ බෙදාදීමේ වැඩසටහනක් හල්පේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේදී පැවැත්විණි.

මෙහි විශේෂත්වය වූයේ ප්‍රදේශයේ සිටින ගර්භණී මාතාවන්ට බුද්ධ ප්‍රතිමා ලබාදීමත් එමඟින් ඔවුන්ගේ සීල සමාධි ගුණය වැඩිකිරීමත් තුළින් ගුණ දහමින් පෝෂණය වූ දරු පරම්පරාවක් මෙලොවට බිහිකරවීමයි.

හෙළ සුවය පදනමේ නිර්මාතෘ ප්‍රියන්තා සේනානායක මහත්මියගේ උපදෙස් පරිදි මාතර රෝහලේ වෛද්‍ය මාලින් බටගොඩ මහතා හා හෙළ සුවය පදනමේ චූලා ලියනගේ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන හල්පේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී එන්.සී.කොඩිකාර මහතා හා කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණි.

මෙයට සමගාමීව වස විසෙන් තොර ධාර්මික ගොවිතැනක් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් එමඟින් පරිසරයේ ජීවත්වන ජීවීන් විනාශයට පත්නොකර ඔවුන්ගේ සහයෝගය වගාවට ලබාගන්නා ආකාරයත් අප වස විස නැති ආහාර භාවිතයට හුරු කිරීමෙන් නිරෝගිමත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් බිහි කරගත හැකි ආකාරය ගැනත් විශේෂ දේශනයක් හෙළ සුවය ආයතනයේ චූලා ලියනගේ මහතා හා වෛද්‍ය බටගොඩ මහතා ඉදිරිපත් කරන ලදී.

වැඩසටහනේ බෙදා දෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ආරණ්‍ය සේනාසනවල්දී දින 07ක් පිරිත් කර මාලබේ පිහිටි හෙළ සුවය මධ්‍යස්ථානයේදී ද අවශ්‍ය පිළිවෙත් කර පේ කරන ලද ප්‍රතිමා වීම විශේෂත්වයකි. බුත්තල බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයේ සංඝානන්ද හිමියන් හා සමිතවංශ හිමියෝ මෙහිදී ධර්ම දේශනාවන් පැවැත්වුහ.

පටිගත කල අදහස්

 

පද්මා මහත්මිය- සිහින පෙනීම අඩු වීම
සිත තැන්පත් වීම
අම්මගේ කොන්දේ අමාරුව සුව වීම
මස් මාළු කන එක නැවතුනා
ගර්භණී සමයේ එන අපහසුතා අඩු උනා
දරුවාගේ අසනීපය සුව වුනා
පවුලේ හැමෝම එකතු වුනා
පිරිත් කරද්දී පැන් කලෙන් වතුර බුබුළු දමන්න ගත්තා
දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක උනා
දරුවෝ බොරු කියන එක නතර කළා. එයාලා පන්සිල් රකින්න හුරු වෙනවා
බුදු දහම ඇසුරෙන් ධනාත්මකව හිතන්න පුරුදු උනා
බුදු දහමින් අපි කරන්න ඕනේ දේ ගැන අවබෝධයක් ආවා
හිතේ තිබුන ලොකු දුකක් අඩු උනා. හිත තැන්පත් උනා
කකුලේ තිබුන ලොකු වේදනාවක් අඩු උනා
මෛත්‍රී සිතක් පහල උනා
පවුලේ සමඟිය වැඩි වෙලා

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top